ඉතිහාසය

“බෝධියක් සහිත පෙට්ටි මලසුන් ගෙයකින් ද, පොල් අතු සෙවිලි කළ, කටු කුරුඳු වලින් ගවසී ගත් ලඳු කැලෑවකින් යුතු ආවසයට පැමිණියෙමි.”

    1914 ජුනි 05 වැනි දින මෙසේ තම දින පොතෙහි සටහන් තබනුයේ අද අමරණිය විහරස්ථානයක්  බවට පත්ව ඇති පරම ධම්ම විහරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන ගරු පන්නිපිටියේ පියදස්සී මහා ස්වාමින්ද්‍රයන් වහන්සේය. උන් වහන්සේ කොට්ටව ධම්ම කිත්තාරාමයෙහි වඩ විසූ කෝට්ටේ  ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහ නාහිමිපාණන් වහන්සේ ශිෂ්‍ය පුත්‍රයින් දස දෙනාගෙන් පස්වැන්නා වූහ.

 

 

 

     ඒ යුගයේ ප්‍රධාන විහාරස්ථානයක්ව පැවතියේ විජයාරාම රජමහා විහාරයයි. අවට ප්‍රදේශවසීන් තම ආගමික කාර්යයන් ඉටුකරගනු ලැබුවේ එම විහරස්ථානයෙනි. එය ඒ යුගයේ අති දුෂ්කර කාර්යයක් විය. එම නිසා කොට්ටව ප්‍රදේශයේ සැදැහැවතුන් ඒකරාශි වී ඒ යුගයේ ජනප්‍රියත්වයක් තිබූ මහ බෝගොඩ හිමියන් තම ප්‍රදේශයට වඩම්මවා ගනිම සඳහා, අද කොට්ටව ධම්ම කීර්තිකාරාමය නමින් හඳුන්වන විහාරස්ථානය උන්වහන්සේට පූජා කරන ලදී.

බෝගොඩ ධම්ම කිත්ති මහා නාහිමිපාණන් වහන්සේ පෙනී සිටි ඉපැරණි ඡායාරූපයක්.

       උන්වහන්සේගේ සේවය පසක් කරගත් රුක්මලේ, මාපල්ල, දෙපානම, තලවතුගොඩ ආදී අවට ප්‍රදේශවාසීන් තව තවත් එම ප්‍රදේශ වලින් ඉඩ කඩම්, කුඹුරු විහරස්ථානය වෙත පූජා කරන ලදී. ඒ අනුව දෙපානම ගම්වාසීන් කොට්ටව ගමත් දෙපානම ගමත් ඇරැව්වල ගමත් පන්නිපිටිය ගමත්යන මේ හතරෙහි සීමාව වූද හේවාගම් සල්පිටි කෝරළ දෙකෙහි මායිම් වූද දෙපානම ගමෙහි මෙම භූමි භාගයෙහි පරණි බෝධි රුක්ෂයක් තිබූ බැවින් එම ඉඩම මහ බෝගොඩ හිමියන්ට පූජා කිරීමට කැමති විය. ඊට අමතරව 1863 ජනවරි 10 වැනි දින එම පූජා කල ඉඩමට ආසන්නයේ වූ අක්කර දෙකක ඉඩම ද මහ බෝගොඩ හිමියන් විසින් පවුම් 8 කට මිලයට ගන්නා ලදී.

         ගෞරවාර්හ බෝගොඩ මාහිමිපාණන් වහන්සේ සියක් වසක් ආයු වළදා 1909 ජූලි 19 වැනි දින රාත්‍රි 9.00 ට පමණ අපවත්වී වදාළහ.  මහ බෝගොඩ මාහිමිපාණන් වහන්සේගේ පස්වැනි ශිෂය පුත්‍රයානන් වූ ගෞරවාර්හ පන්නිපිටියේ පියදස්සී මාහිමියන් 1876 මාර්තු 7 වනි දින උපත ලබා 1982 අගෝස්තු 12 වනි දින පැවිදිව 1898 ජුනි 17 වැනි දින උපසම්පදාව ලබා ඇත.

         තම ගුරු හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු පන්නිපිටියේ පියදස්සී හිමියන් ලිපියෙහි මුලින් සඳහන් ප්‍රකශනය 1914 ජුනි 05 වැනි දින තම දින පොතෙහි සටහන් තබමින් කටු කුරුඳු වලින් පිරුණු බිමක්ව පැවති “මොරකැටියෙහි”  පරම ධම්ම විහරය ආර්ම්භ කරන ලදී. මොරකටිය නමින් ගමක් නොවීය. මොරගස් බොහෝ තිබූ බැවින් මෙම ප්‍රදේශය මොරකැටිය නම් විය. එදා සිට අද දකවා මොරකැටිය නමින් ඇත්තේ මොරකැටිය පන්සලත් මොරකටිය මන්සන්දියත් පමණී.

         ඒ යුගයේ ගම් ප්‍රධානියෙකු මෙන්ම කොට්ටව ආනන්ද මහා විද්‍යාලයේ ප්‍රධානාචාර්ය වරයකු වූ බී.ඒ. දොන් සේතන් විජේසිරිවර්ධන මුහන්දිරම් රාළහාමි, බී. ඒ දොන් සෙමනේරිස් මුදලාලි, මොරවකගේ පවුලිස් පෙරේරා පොලිස් මුලාදෑනිතුමා, සීමාසහිත බී.පී. මොරවක පුත්‍ර සමාගමේ නිර්මර්තෘ වෛද්‍ය බී.පී. මොරවක මහතා, සී.ඒ. කොතලාවල කොට්ටව පේරුවේ විදාන ආරච්චිතුමා, මොරවකගේ ආර්නෝලිස් පෙරේරා මහතා, සාදිරිස් අල්විස් වීර්ක්කොඩි මහතා ආදී ප්‍රභූවරුන්ගේ සහාය නිරන්තරයෙන්ම පන්සලට ලැබී ඇත.

        කැලනි වැලි දුම් රියමාර්ග තැනීම නිසා පන්සල් ඉඩම දෙකඩ විය. පහල කොටසෙහි රබර් වගා කළ අතර කුරුඳු ටිකෙන් ටික ගලවා පොල් හිටවන්නට විය.පන්නිපිටිය දුම් රියපල ඇතිවීම නිසා කොළඹ බලා වැඩම කරන තරුණ හිමිවරුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ මෙම ආරාමයයි. ඒ නිසා නිරන්තරයෙන් ආගන්තුකයින් තුන් හතර නමක් වැඩ නොසිටි දිනක් නොවීය. අතිගරු පලන්නරුවේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ විද්‍යේදය මහ පිරිවෙනට වඩම කරන ලද්දේ මෙහි නවාතැන් ගෙනය.

 

   තම ගුරු හිමිපාණන්ගේ සොහොයුරා වූ ගොඩිගමුව විපස්ස්‍යාරාමාධිපති ගෞරවාර්හ බෝගොඩ විපස්සි මා හිමිපණන් වහන්සේ ශිෂ්‍ය පුත්‍රයා වූ අරැවූවල සුමනජෝති හා පන්නිපිටියේ පියදස්සී යන හිමිවරුන් දෙනම විසින් බ්‍රාහ්මණගම මංගල, අතුරුගිරියේ සද්ධාතිස්ස, ඇරැවුවල සුමනතිස්ස, කොඩිරුප්පුවේ රේවත යන හිමිවරුන් මහණ උපසම්පදා කර සිසු පරපුරක් අති කළහ. ඉන් බ්‍රාහ්මණගම මංගල, කොඩිරුප්පුවේ රේවත යන දෙදෙනා වහන්සේ ගොඩිගමුවේ විපස්ස්‍යාරාමයේ වඩසිටි අතර අතුරුගිරියේ සද්ධාතිස්ස,ඇරැවුවල සුමනතිස්ස යන දෙනම මොරකැටියේ පරම ධම්ම විහාරයේ වැඩ විසූහ.

වෙදෙකු වීමට, වෙද පොත් කීමට පමිණි අතුරුගිරියේ දරුවා, මහණ වීමට, ශතක පොත් කීමට පමිණි ඇරැවුවල දරුවා යන දරුවන් දෙදෙනා දැඩි මිත්‍රත්වයෙන් බැඳීම නිසා වෙදකම අත්හැර මහණවීමට කැමති විය. 1905 මාර්තු 05 වැනි දින උපත ලැබූ අතුරුගිරියේ දරුවා අතුරුගිරියේ සද්දාතිස්ස නමින් ද 1909 පෙබරවාරි 28 වැනි දින උපත ලැබූ ඇරැවූවල දරුවා, ඇරැවූවල සුමනතිස්ස යන නමින් ද පැවිදි වූය. පැවිදි වීමෙන් අනතුරුව අපවත්වන තුරුම සහෝදර ප්‍රේමයෙන් එකිනෙකා වෙන් කළ නොහකි අයුරින් මෙම දෙදෙනා වහන්සේ ජීවත් වූ බව රහසක් නොවේ.

 

     අතුරුගිරියේ සද්දාතිස්ස සහ ඇරැවූවල සුමනතිස්ස හිමිවරුන් බොරලැස්ගමුවේ පරම ධම්ම නිවේස පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබන අතර 1928 ජූලි 20 වැනි දින උපසම්පදාව ලැබූහ. ඉන්පසුව විද්‍යෝදය මහා පිරිවෙනිහි ධර්ම සාත්‍රෝත්ග්‍රහන්ණය ලබමින්ම දෙමට ගොඩ මහ විශුද්ධාරාමාදිපති ගෞරවාර්හ දෙවිනුවර ඤණාවාස මහිමියන් වෙත අභිධර්මය ද හදාරන ලදහ.

 

 

 
 

    ගුරු හිමියන්ගේ රෝගාතුර වීම නිසා පූර්ණ කාලීන අධ්‍යාපන කටයුටතු අත්හැර විහාරස්ථානයට පමිණ එහි දියුණුවත් ප්‍රදේශයේ ආගමික, ජාතික හා සංස්කෘතික කර්යයන් ඉටුකිරීම සඳහා කැපවී ක්‍රියා කළහ. එසේම මෙම සහෝදර හිමිවරුන් දෙනම පිරිත් පිරීමෙහි දැක්වූ දක්ෂතාවය නිසාම මොරකැටිය යුගය නමින් එකල ප්‍රසිද්ධියට පත්වූහ.

   දිනෙන් දින විහාරස්ථානයකට අවශ්‍ය අංග එකතු වීමෙන් සංවර්දනය වුණු මේ පුදබිම අද වනවිට අංග සම්පූර්ණ විහාරස්තනයක් බවට පත්වී තිබේ. එදා මෙදා තුර විහාරස්ථානය හා බැදුණු අණුස්මරණීය අවස්ථාවන් ද රැසකි.

    පරම ධම්ම විහාර ආරක්ෂක සමිතිය විසින් 1923 අද පවතින ගණ්ඨාර ස්ථම්බය ඉදිකරන ලදී. විහාරස්ථානයේ මූලික අංගයක් වන දර්ශනීය බුදු මදුර සහිත විහාර මන්දිරය එවකට ඉතා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වූ සාර්ලිස් මස්ටර් ගේ මූලිකත්වයෙන් අරඹා ඔහුගේ චිත්‍ර ඒ.එස්. සෝදිරිස් මාස්ටර් විසින් 1934 නොවම්බර් 24 වැනි දින චිත්‍ර කර්ම වැඩ අවසන් කරන ලදී. විහාරස්ට්ථානය මූලික කරගෙන මේ ප්‍රදේශයේ බොහෝ ධර්ම දේශනා, සති පිරිත් සති දෙක, සති තුන පිරිත් පිංකම් වාර්ශිකව මෙන් පැවැත්වූ බව දැක්විය හැකිය. 1947 ජනවාරි 27 වැනි දින මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා අතින් දෙමහල් ධර්ම ශාලාව විවෘත කරන ලදී. මෙම උත්සවය සඳහා හිටපු අග්‍රාමත්‍ය ඒස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ද තරුණ මන්ත්‍රීවරුන් ලෙසට මෙයට සහභාගි වී ඇත. 1950 ජුලි 26 වැනි දින චෛත්‍ය රාජයාට මුල්ගල තබන ලදී.

  1953 ජනවාරි 19 වැනි දින අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානයක මහතා විසින් චෛත්‍ය ගර්භ ධාතු නිදානෝත්සවය සිදුකල අතර 1955 මැයි 30 වැනි දින අග්‍රාමත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් චෛත්‍ය රාජයාගේ කොත නිරාවරණය කරන ලදි. මේ වෙනුවෙන් පවත්වන ලද සති පිරිත් දේශනයෙහි දොරකඩ අස්න පවත්වනු ලැබුවේ දොන් පේමදාස බාලසූරිය කුල දරුවාය.

1956 වසර 2500 සම්බුද්ධ ජයන්ති වසර බූ අතර, එම වසරේ මැයි 24 වැනි දින දොන් පේමදාස බාලසූරිය කුල දරුවා “කොට්ටාවේ පේමරතන” නමින් පැවිදි විය.

 

1960 මාර්තු 21 වැනි දින අසූපස් වයස් ගතවූ පියදස්සී මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

        දිනෙන් දින දියුනුවන  දහම් පාසල සදහා “බෝසත් ළමා සමාජය” මගින් ශ්‍රී පියදර්ශනී පුස්තකාලය සහිත දහම් පාසල් ගොඩනගිල්ල 1969 මාර්තු 26 වැනි දින අග්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා අතින් විවෘත කරන ලදී. එදින පිලිප් ගුණවර්ධන, එම්.ඩී.එච්. ජයවර්ධන, ඇස්. ද ඇස්. ජයසිංහ ආදීන් මෙයට සහභාගී වී ඇත. එදින ගෞරවාර්හ මොල්ලිගොඩ අරියවංශ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පවත්වාගෙන ඇත. මේ උත්සවය නිමිත්තෙන් පැවති සති පිරිත් දේශයයෙහි දොරකඩ අස්නෙහි අනුශාසනා අස්න දෙසනු ලැබුවේ වත්මන් විහාරාධිපති හිමියන්ය.

       දහම් පාසලෙහි ප්‍රථම තාග්‍ය ප්‍රධානොත්සවය 1955 ශ්‍රී පාදස්ථානාධිපති මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානනද නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අග්‍ර විනිශ්චයාකාර හේම බස්නායක, එච්. ඩබ්ලිව්. අමරසේකර, තෝමස් අමරසූරිය මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවූහ.

 

1974 දෙසම්බර් 19 වැනි දින ගෞරවර්හ ඇරැව්වල සුමනතිස්ස මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

1977 සැප්තැම්බර් 22 වැනි දින ගරු දෙහි කුඹුරේ බෝධිසිරි හිමියන් සසුන්ගත විය.

 

 

1980 ඔක්තෝම්බර් 31 වනි දින අතුරුගිරියේ සද්ධාතිස්ස මහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

1984 මැයි 19 වැනි දින ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමා අතින් ධාතු ගර්භය, දාන ශාලාව සහිත දෙමහල් සංඝාවාසයට මුල්ගල තැබීය.

1991 අගෝස්තු 05 වැනි දින කැලිෆොර්නියවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගරු මන්ඩල සීලවිමල මාහිමියන් අතින් නව සංඝාවාසයේ පළමු අදියර විවෘත කරන ලදී.

 

 

1993 අගෝස්තු 28 වැනි දින පන්නිපිටිය අලුත් පාර පදිංචි සාමා කරුණාරත්න මහත්මිය විසින් පර්චස් 8 ක ඉඩම බෝධිය සංවර්ධනය කිරීම සඳහා පරිත්‍යාග කරන ලදී.

1998 පෙබරවාරි 08 වැනි දින පන්නිපිටිය සංහ සමාජයේ අනුග්‍රහයෙන් “ජිකෝ” පෙර පාසල හා එම ගොඩනගිල්ල තනවා විවෘත කරන ලදී.

1998 මැයි 11 වැනි දින අටවිසි බුද්ද ප්‍රතිමා හා රන්වැට සහිත නව බෝධිප්‍රකාරයට මුල්ගල තැබීය.

1999 ජුනි 28 වැනි දින බෝධි ප්‍රකාරය විවෘත කරන ලදී.

 

 

   2000 හෝකන්දර පාර කේ. එල්. හේමපාල පෙරේරා මහතා සහ එම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් පරණි විහාර මන්දිරය ප්‍රතිස්ථාපනය කරන ලදී.

2001 මාර්තු 24 වැනි දින සංඝාවාසයට ගෙවීම නිමිති කරගෙන ශ්‍යාමෝපාලි වංශික මහා නිකයේ මල්වතු අස්ගිරි, කෝට්ටේ පාර්ශවයෙහි මහනායක, අනුනායක අවාමින් ප්‍රමුඛ ත්‍රෛනිකයික ශතාධික මහා සංගරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව පිලිගන්වන ලදී. ඉනපසු 2001 මාර්තු 31 වැනිදා දක්වා සති පිරිත් පිංකම පැවැත්වීය. 2003 මැයි 15 දින බෝගහවත්තෙහි පදිංචි ඩී.ඒ. මිල්ටන් පෙරේරා මහතා විසින් ගණ්ඨාර කුළුණෙහි ප්‍රතිසංස්කරන කටයුතු නිම කරවීය.

    2005 මැයි 23 වැනි දින පන්නිපිටියේ යෝධගම ව්‍යාපාරය අධිපති ආර්.එම්.එල්.බී. රණසිංහ මහතා සහ එම මහත්මිය බී.එම්. කුමාරිහාමි හා සොහොයුරු බී.එම්. පොඩි නිලමේ මහතා සහ දූ දරුවන් විසින් සලපත මළුව සහිත චෛත්‍යයෙහි නව ප්‍රතිසංස්කරන කටයුතු නිම කරවීය.

     එම මළුවේ විදුලි ආලෝක පද්ධතිය දෙපානම චන්ද්‍ර කුමාර රත්නපාල මහතා ඇතුලු පවූලේ සැම විසින් පරිත්‍යාග කර්න ලදී.

     අටවිසි බෝධීන් වහන්සේලා සහිත “අටවිසි බෝ මලුව” 2550 සම්බුද්ධ ජයන්ති සමරුව හා ශාස්ත්‍රපති ගරු කොට්ටවේ පේමරතන උපහාර උළෙලට සමගාමීව 2006 මැයි මස 21 වැනිදා විවෘත කරන ලදී. මෙම බෝ මළුව පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ “වෘක්ෂ අභය භූමි” සංකල්පයට අනුව අමාත්‍යාංශ සහයෝගයද සහිතව ඉදිකරන ලදී. එම උලෙලට සමගාමීව උඩගම ධම්මසිරි, අමුණුදෝවේ හේමසිරි හිමිවරු සසුන් ගත වූහ.

    විහාරස්ථානයේ තිබෙන ප්‍රධාන විහාරාංගයක් වන සුවිසල් ධර්ම ශාලාව මතු පරපුරටත් ආරක්ෂා වන පරිදි නවීකරණය කිරීම විහාරාධිපති නාහිමිපාණන් ගේ සංවිධාන ශක්තිය මොනවට කියා පාන්නකි. ගරු අග්‍රාමත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ සහයෝගය ලබාගනිමින් ඔහුගේ සොහොයුරිය වන කරුණා වැලිකල මහත්මිය සහ ඇයගේ දූ දරුවන් වන වෛද්‍ය කුමාරි වැලිකල, සුමන වරාගොඩ මහත්මිය මහත්මීයන විසින් ධර්ම ශාලාවට අවශ්‍ය උළු හා විදුලි පද්ධතිය ලබා දුන් අතර ධර්ම ශාලාවෙහි සෙසු කටයුතු සඳහා තවත් බොහෝ පිරිසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදී.

 

 

2008 වර්ෂයේදී  විහාරාදිපති ගරු කොට්ටාවේ පේමරතන හිමියන් වෙත
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි ධම්ම මහා සංඝ සභාව වෙතින් “ප්‍රවචන කීර්ති ශ්‍රී පියදස්සි” යන ගෞරව නාමය සහිතව “සලිපිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක” යන පදවියෙන්ද පිරිනමන ලදී.